ඉසින්බැස්සගල රජමහා විහාරය

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයට නුදුරුව මෙම විහාරය පිහිටා ඇත. මැදවච්චිය සිට යාපනය දක්වා ගමන් කිරීමට ඇති  මාර්ගයේ ( A 9 ) කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කල පසු   දකුණු පැත්තෙන් ඉතා අලංකාර ගල් තලාවක් මත මෙම විහාරය දැකගත හැකිය. ඉසින්බැස්සගල විහාරය ලෙස ද ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය ලෙස ද හදුන්වන්නේ මෙම විහාරයයි.

මෙම ගල්තලාව අඩි 530 ක් පමණ උසකින් සමන්විත අතර, විශාල ප්‍රදේශයකද පැතිරී ඇත . මෙම ස්ථානය පිළිබඳව පවතින එක් ජනප්‍රවාදයක් වන්නේ  මෙම ස්ථානය සිත දියුණු කිරීමේ කටයුතු සහ භාවනානුයෝගී කටයුතු සදහා ඉතා යෝග්‍ය වු බැවින් අතීතයේ ඍද්ධි බලයෙන් යුත් ඍෂිවරු මෙම ස්ථානයට පැමිණි බවත්, එබැවින් ‘ ඍෂීන් බැස්ස ගල ‘ ‘ ඉසිවරුන් බැස්ස ගල ‘ පසු කාලීනව ඉසින්බැස්සගල වු බවයි.

එමෙන්ම මෙම ස්ථානය පිළිබඳව පවතින තවත් ජනප්‍රවාදයක් වන්නේ මිහිඳු මහා රහතන් වහන්සේ මිහින්තලයට වැඩම කිරීමට ප්‍රථම මෙම ගල් තලාවට වැඩම කල බවත්, උන් වහන්සේ කෙටි කාලයක් මෙහි නැවතී සිටි බවත්ය.

මෙම ස්ථානය දේවානම්පියතිස්ස රජුගේ කාලයේ විහාරයක් ලෙස දියුණුවට පත්ව ඇත. මෙහි දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක නටබුන් රැසකි. ඒ අතර ඉපැරණි චෛත්‍යය, ගල් පොකුණු, පියගැට පෙළ,සෙල්ලිපි කිහිපයක්,සිරිපතුල් ගලක්,නාග ගලක් දැකගත හැක. සිරිපතුල් ගල සහ නාග ප්‍රතිමාව වන්දනාමාන කිරීම සදහා යොදා  ගන්නට ඇත.

විද්වතුන්ගේ අදහස අනුව මෙම විහාරයෙන් හමුවන සෙල්ලිපියක නාගදාඨා සහ සුමණගෝණ නමින් හදුන්වන පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම විහාරයට වැවකින් ලැබෙන ආදායම පූජා කර ඇත. එම කාලයේ මෙම විහාරය හදුන්වා ඇත්තේ ‘ අසියකර විහාරය ‘ ලෙසයි.

මෙම විහාරය වර්තමානය වන විට විශාල සංවර්ධනයකට ලක්ව ඇති අතර වර්තමාන ඉදිකිරීම් රැසකි. ඉතා අලංකාර එමෙන්ම ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථානයකි. මෙම ස්ථානය අවට පරිසරය නිසැකවම සිත සන්සුන් කරන සුලුය. මැදවච්චිය යාපනය මාර්ගයේ ඔබ ගමන් කරනවා නම් නැරඹිය යුතු වටිනා ස්ථානයක් ලෙස ඉසින්බැස්සගල විහාරය සැලකිය හැක. එමෙන්ම ප්‍රාදේශීය ජනයාගේ ඉතා ගෞර්වයට භක්තියට හා පුජනීයත්වයට පත්වන විහාරයකි.

සටහන ( පැතුම් තාරක )

 

Comments

mood_bad
  • No comments yet.
  • Add a comment
    free web site hit counter